සංයුත්ත නිකාය (පඨමෝ භාගෝ) සගාථ වග්ගෝ
සාවත්ථියං...
ඒකමන්තං නිසින්‌නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. ඉධාහං භන්තේ අත්ථකරණේ නිසින්නෝ පස්‌සාමි ඛත්‌තියමහාසාලේපි බ්‍රාහ්‌මණමහාසාලේපි ගහපතිමහාසාලේපි අඩ්ඪේ මහද්‌ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්‌තූපකරණේ පහූතධනධඤ්‌ඤේ කාමහේතු කාමනිදානං කාමාධිකරණං සම්‌පජානමුසාභාසන්‌තේ. තස්‌ස මය්‌හං භන්තේ ඒතදහෝසි. අලන්දානි මේ අත්ථකරණේන, භද්‍රමුඛෝදානි අත්ථකරණේ න පඤඤායිස්‌සතීති.
එකත්පසෙක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළේය.
ස්වාමීනී, මම අධිකරණ ශාලාවෙහි වාඩිවී සිටින විට, ආඩ්‍ය වූ, මහත් වූ ධනය ඇති, මහත් වූ බෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ සිතැඟි උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති ක්ෂත්‍රිය මහාසාල කුලයෙහි උපන් අයද, බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි උපන් අයද, ගෘහපති මහාසාල කුලයෙහි උපන් අයද, කාමය හේතු කොටගෙන, කාමය නිදාන කොටගෙන, කාමය කරුණු කොටගෙන දැන දැන බොරු කියන්නහු දකිමි.
ස්වාමීනී, මට මෙබඳු සිතක් විය: "දැන් මට නඩු විසඳීමෙන් ප්‍රයෝජනයක් නැත. දැන් අධිකරණ ශාලාවෙහි සොඳුරු මුව ඇති අය දක්නට නොලැබෙයි" යනුවෙනි.
යේපි තේ මහාරාජ ඛත්‌තියමහාසාලා බ්‍රාහ්‌මණමහාසාලා ගහපතිමහාසාලා අඩ්ඪා මහද්‌ධනා මහාභෝගා පහූතජාතරූපරජතා පහූතවිත්‌තූපකරණා පහූතධනධඤ්‌ඤා කාමහේතු කාමනිදානං කාමාධිකරණං සම්‌පජානමුසා භාසන්‌ති, තේසං තං භවිස්‌සති දීඝරත්‌තං අහිතාය දුක්‌ඛායාති.
"මහරජ, ආඩ්‍ය වූ, මහත් වූ ධනය ඇති, මහත් වූ බෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ සිතැඟි උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, ක්ෂත්‍රිය මහාසාල, බ්‍රාහ්මණ මහාසාල, ගෘහපති මහාසාල කුලයන්හි උපන් යම් කෙනෙක් කාමය හේතු කොටගෙන, කාමය නිදාන කොටගෙන, කාමය කරුණු කොටගෙන දැන දැන බොරු කියත්ද, එය ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේය."
සාරත්‌තා කාමභෝගේසු ගිද්‌ධා කාමේසු මුච්‌ඡිතා
අතිසාරං න බුජ්‌ඣන්‌ති මච්‌ඡා ඛිපංව ඔඩ්ඩිතං
පච්‌ඡාසං කටුකං හෝති විපාකෝ හිස්‌ස පාපකෝති
කාම වස්තූන් කෙරෙහි ඇලුනු, කාමයෙහි ගිජු වූ, කාමය නිසා මුලාවට පත් වූ සත්වයෝ, අටවන ලද දැලකට (කෙමියකට) හසු වූ මසුන් මෙන් තමා කුසලයේ සීමාව ඉක්මවා යන බව නොදනිති. ඔවුන්ට පසුව කටුක වූ දුක් හිමිවෙයි; එහි විපාකයද ලාමක (පාපක) වෙයි.
1. මෙලොවදීම නින්දාවට භාජන වීම.
2. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලැබීම.
3. බොරු කීම නිසා නීතිමය හෝ සමාජීය වශයෙන් දඬුවම් ලැබීම.
4. මරණින් මතු නරකයෙහි ඉපදී අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලැබීම.
5. තිරිසන් යෝනියෙහි ඉපදී බොහෝ දුක් ලැබීම.
6. මින් මිදී මිනිස් ලොව උපන් කල්හි, කළ එක බොරුවක් නිසා සියගණන් ජාතිවලදී නොකළ වරදවලට හසුවී නින්දා හා දඬුවම් ලැබීම.
7. මෝඩයෝ (නුවණ නැත්තෝ) වීම.
8. දුප්පත් වීම.
9. ගොත වීම.
10. ගොළු වීම.
11. කටගඳ ඇත්තෝ වීම.
12. ශෝභන දත් ඇත්තෝ වීම.
13. කල් නොපවත්නා දත් ඇත්තෝ වීම.
14. මුඛ රෝගවලින් පෙළෙන්නෝ වීම.
15. විරූප වීම.
16. මිහිරි කටහඬ ඇත්තෝ වීම.
17. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නොපිළිගැනීම.
18. දරුවෝ නූපදීම හෝ උපදින්නාහුද අවාසනාවන්ත දරුවෝම වීම.
19. සේ ලැබෙන දරුවන්ද අකීකරු වීම.
අත්තනා ච මුසාවාදී හෝති, පරඤ්ච මුසාවාදේ සමාදපේති, මුසාවාදේ ච සමනුඤ්ඤෝ හෝති. යථාභතං නික්ඛිත්තෝ එවං නිරයේ (අංගුත්තර නිකාය)
තමනුදු බොරු කියයිද, අන් අයද බොරු කීමෙහි යොදවයිද, බොරු කීම අනුමත කරමින් සතුටට පත්වෙයිද, ඔසවාගෙන ගිය බරක් බිමින් තැබුවා සේ ඔවුහු මරණින් මතු නිරයෙහි උපත ලබති.
‘එකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ
විතින්ණ පරලෝකස්ස නත්ථි පාපං අකාරියං’
සත්‍ය වචනය නම් වූ එකම ධර්මය ඉක්මවන ලද, පරලොව හැර දමන ලද තැනැත්තාට මේ ලෝකයෙහි කළ නොහැකි කිසිදු පාප කර්මයක් නැත.
මුසාවාදයෙන් වැලකීමේ වටිනාකම අතිමහත්ය. බොරු කීමෙන් වැළකුණු සත්ව
යෝ සසර ගමනේදී පහත දැක්වෙන උතුම් ගුණාංග හා ශාරීරික ලක්ෂණ වලින් යුක්ත වෙති:
1. ඉතා ප්‍රසන්න වූ ඉන්ද්‍රියන් ඇති අය බවට පත්වෙති.
2. නොපැකිළිව මිහිරි වචන ප්‍රකාශ කරන අය බවට පත්වෙති.
3. සම වූ, පිරිසිදු වූ දත් ඇති අය වෙති.
4. තා මහත් නොවන, ඉතා කෙට්ටු නොවන, ඉතා මිටි නොවන, ඉතා උස් නොවන සමබර ශරීරයක් ඇත්තෝ වෙති.
5. සැප ස්පර්ශ ලබන (සැපවත් සිරුරක් ඇති) කෙනෙකු බවට පත්වෙති.
6. මානෙල් මල් සුවඳ හමන මුඛයක් ඇති කෙනෙකු බවට පත්වෙති.
7. කීකරු වූ පිරිවර ඇති අය බවට පත්වෙති.
8. ඇදහිය යුතු, සැම විසින්ම පිළිගන්නා වචන ඇති අය වෙති.
9. නෙළුම් මල් හා මානෙල් මල් පෙති සේ මුදු වූ, රතු වූ, තුනී වූ දිව ඇති කෙනෙකු බවට පත්වෙති.
10. උඩඟු නොවන, චපල නොවන සංවර අය බවට පත්වෙති.
(ඛුද්දක පාඨ අට්ඨකතා)
©2022 by nipunadhamma
sinhala dharma desana | pirith | bhawana
0 Comments