අසිරිමත් මහ සයුරට බුදු සසුන සමකොට වදාල දේශනාව.......
අංගුත්තර නිකාය
පහාරාද සුත්‍රය
මේ කියන කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ වේරඤ්ජාවෙහි නළේරු නම් විශාල කොහොඹ ගහක් මුල. ලංකාව වගේ නෙවෙයිනේ ඉංදියාව. සෑම කාලයකම වහින්නේ නෑ. ඒක නිසා විවේකයෙන් ඉන්න පහසු විදිහට ගස්මුල් අසල ආසන සකස් කරලා තිබුනා.
එකල්හී පහාරාද අසුර නායකයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණනුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එක පැත්තකින් සිට ගත්තා. ඊළඟට මේ පහාරාද අසුරේන්ද්‍රයාගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා.
“පහාරාදයෙනි, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවාද?”
අසුර කියලා කියන්නේ දිව්‍ය පිරිසක්කනේ. තව්තිසාවටම අයිති පිරිසක්. ඔයගොල්ලො අහල තියෙනවා නේද සුර අසුර යුද්ධය ගැන. මෙන්න මේ අසුර පිරිසේ නායකයා තමයි වේප්පචිත්ති කියලා කියන්නේ. මේ පහාරාද කියලා කියන්නෙත් ඒ අයගේ නායකයෙක්. නමුත් මේ අය මුහුද ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. පහාරාද බුදුරජාණන් වහන්සේට පිලිතුරක් දෙනවා..
“ස්වාමිනී, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා ගෙන තමයි සිටින්නේ”
“පහාරාදයෙනි, මහා සයුරෙහි තියෙන කොපමන ආශ්චර්ය අද්භූත ධර්මයන් දැක දැක ද අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසන්නේ?”
“ස්වාමීනී, මහා සමුද්‍රයෙහි ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් ධර්මයන් අටක් තියෙනවා. එය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
ස්වාමීනි මේවා තමා ඒ කාරනා....
1. ස්වාමීනී, මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරක් කරා ගමන් කරනවා. අනුපිළිවෙලින් යටට නැමිල තියෙන්නේ. . අනුපිළිවෙලින් ඉදිරියට බර වෙලා තියෙන්නේ. පටන් ගත් තැන ම මහා බෑවුම් නෑ. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කාරනාවයි. . මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
හැමොම වගේ මුහුද බලන්න වෙරලට ගිහින් තියෙනවා නේද. මේ වෙරලේ වැලි තලාව ඉතාම ක්‍රමානුකූල තමා ගැඹුර කරා ගමන් කරන්නේ. පුංචි ලමයෙකුට උනත් මුහුදු වතුර තම දෙපයින් හිටගෙන පාගන්න පුළුවන්. ටික ටික ඉස්සරහට යනකොට ටික ටික වතුර වැඩිවෙනවා. ඒ ගැඹුර මීටර සිය ගනන් දහස් ගනන් වෙනවා. ඒක නිසා තමයි මිනිසුන් පවා නිතරම වෙරළට රොක් වෙන්නේ.
පහාරාද දෙවන කාරනාවත් කියනවා..
2. තව ද ස්වාමීනි, මහා සමුද්‍රයට සීමාවක් තියෙනවා. වෙරළ ඉක්මවා යන්නේනෑ. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය සීමාවෙන් පිට පැනල, වෙරළ ඉක්මවා නොයයන නිසා ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති දෙවෙනි ආශ්චර්ය අද්භූත කරුණ දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
ගංගාවන් නම් නිතර නිතර පිටාර ගලනවා නමුත් සාගරය එහෙම නෑ. ඒකට සීමාවක් තියෙනවා ඒ තමයි වෙරල වෙරලට එන රැලි වෙරලේ හැපිලා බිදිලා යනවා. ඒක තමයි සාගරයේ සීමාව.
3. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය කරන්නේ නෑ. මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගෙනත් දානවා. ගොඩබිමට නංවයි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරයි ද, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගසයි ද, ගොඩබිමට නංවයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කරණාවයි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
මුහුදේ මාළුවෙක් මැරුනත් සතෙක් මිනිහෙක් කවුරුන්ගේ හෝ මලකුනක් තිබුනොත් ඒවා එහිම සතුන් කාලා විනාශ නොවුනොත් වෙරළට ගසාගෙන එනවා. සාගරයේ රැදෙන්නේ නෑ.
4. තව ද ස්වාමීනී, විශාල ගංගාවෝ තියෙනවා,ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙන්. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණියහම ඒවායෙහි පැරණිය නම් ගොත් නැතිවෙලා යනවා. මහා සමුද්‍රය කියන නම විතරයි ඉතුරු වෙන්නේ.
. ස්වාමීනී, යම් හෙයකින් යම්කිසි මහා නදීහු වෙත් ද, එනම්; ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙන්
ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අත්හැරිල මහ මුහුද කියන එකම නම විතරක් ඉතුරුවනවා ද. ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
5. තව ද ස්වාමීනී, ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි. ස්වාමීනී, යම් හෙයකින් ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
6. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්තයි . ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසය කරනවා
7. තව ද ස්වාමීනී, මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය යි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද , ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
8. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි. . එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද සාගරය ඇසුරේ ජීවත් වෙනවා. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරනවා.
ස්වාමීනී, මහා සමුද්‍රයෙහි ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් මේ කාරනා අට දැක දැක අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරනවා.
ඊළඟට පහාරාදත් බුදුරජාණන් වහන්සේගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා.
ස්වාමීනී, මේ ධර්ම විනයෙහි (බුද්ධ සාසනයෙ) භික්ෂූහු සිත් අලවා වාසය කරනවා ද?”
බලන්න පින්වත්නි කවුරු හරි අපෙන් මේ ප්‍රශ්නය ඇසුවා නම් අපි මොකද්ද දෙන උත්තරය. අපිත් කියාවි ඔවු කියලා. නමුත් ඒකට හේතුවක් නොදැන තමයි සමහර විට අපි පිලිතුරක් දෙන්නේ. මොකද අපි බෟද්ධ උනේ ඇයි දෙමාපියෝ බෟද්ධ නිසා. නැතුව කරුණු දැනගෙන නොවෙයි. දුක තේරුම් අරන් දුකෙන් එතෙරවන්න නෙවෙයි. ඒක නිසානේ කෙනෙක්ගෙන් තිසරණය මොකද්ද කියල ඇහුවහම දන්නේ නැත්තේ. තිසරණ සරන යන්නේ ඇයි කියල ඇහුවහම දන්නේ නැත්තේ. පන්සිල් මොනවද කියලා දන්නේ නැත්තේ. ඒක නිසා ම මේ ධර්ම දේශනාව ගොඩක් වැදගත් වෙනවා අපිට මේ කාරනා තේරුම් ගන්න.
තථාගතයාණන් වහන්සේ පහාරාදගෙන්ම ධර්මය මතුකරන අදහසින් තමයි මුලින්ම ප්‍රශ්නයක් ඇහුවේ. මහා සාගරය උපමා කරල. දැන් ඊළඟට ඒ කතාවම උපමා වශයෙන් තියලා බුදුරජාණන් වහන්සේ පහාරාදට පිලිතුරක් දෙනවා.
“පහාරාදයෙනි, භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරනවා"
මෙතනදී භික්ෂුව කියලා කිවුවට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සතර පිරිසම ඇතුලත් යෙනවා.
“ස්වාමීනී, මේ ධර්ම විනයෙහි කොතෙක් වූ ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් දැක දැක ද භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ?”
“පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් අටක් තියෙනවා. ඒවා දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරනවා.
අන්න බලන්න තථාගතයාණන් වහන්සේගේ දේශනා විලාසය. ධර්ම විනයේ සිත් අලවන කාරනා කැටි කරලා පහාරාධ දන්න පරාසයට සම්බන්ද කරලා කියලා දෙනවා. එයා දන්නේ සාගරය ගැන ඒක නිසා සාගරයේ තියන වැදගත් ලක්ෂණ වලට ධර්මයත් ගලපලා කියලා දෙනවා.
ඒ. කරුනු අට තමයි....
1. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරක් කරා යයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, අන්න ඒ වාගේ ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක් තියෙනවා, අනුපිළිවෙලින් ක්‍රියාවක් තියෙනවා , අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. පටන් ගත් තැනින් ම අරහත්වයට පත්වෙනවා කියල දෙයක් නෑ. පහාරාදයෙනි, මේක තමා මේ ධර්ම විනයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කාරනාව. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසය කරනවා.
අනුපිලිවෙල හික්මීම කියල කියන්නේ සීලය. පළමුවෙන්ම අපිට රකින්න තියෙන සීලය තමයි පංච සීලය. මේක නුවන තියන කෙනාට තේරුම් ගන්න පුළුවන් කෙනාට හරිම ලේසියි. හදිස්සියේවත් අසිහිය නිසා සිල් බිදුනොත් පිරිසිදු වෙලා නැවත සංවරයේ පිහිටන්නත් කියලා දීලා තියනවා. ඒක තථාගතයාණන් වහන්සේගේ නීතියක් නෙවෙයි. ලොකයේ සදාතනික නීතියක්. තථාගතයාණන් වහන්සේ විසින් මෙය සොයාගෙන ලොකයාට දේශනා කලා පමනි.
මෙහෙම සීලය සකස් කරගන්නා කෙනාට තව දුරටත් නිවන් මගට පහසුවක් ලෙස ඉන්ද්‍රිය සංවර සීලය ගන කියලා දෙනවා. ඒ කියන්නේ ඇස සංවර කර ගැනීම කණ සංවර කර ගැනීම ආදියයි.
ඊළඟට ප්‍රත්‍ය සන්නිස්සිත සීලය ඒකියන්නේ සිවුපසය නුවණින් සලකා පරිභොග කිරීම. සිවු පසය කියන්නේ ආහාර ඇදුම් නිවාස බෙහෙත් කියන හතරයි.
ඊළඟට බොජනයේ පමන දැන වැලදීම ආදී ටිකෙන් ටික ඉස්සහට යන්න පුළුවන් පියවරක් පියවරක් පාසා ලංවෙන්නේ නිවනටම තමයි.
ඒ වගේම අපි ගනිමු භාවනාවත්. සෑම කෙනෙකුටම පුළුවන් තැනින් තමයි පටන් ගන්නේ. අවුරුදු හතක තරම් පොඩි ලමයෙකුට උනත් තේරෙනවා.
ආනාපාන සති භාවනාව ගනිමු .
පටන් ගන්නෙ නිබ්සබ්ද කැලයකට හෝ යන්න ගසක් මුලට හෝ හිස්කාමරයකට හෝ තොරාගන්න. දැන් හොදින් වාඩිවෙන්න. කය කෙලින් තියා ගන්න. දැන් මුහුනේ ඉදිරිපසට සිත යොමු කර තියාගන්න. හුස්ම ගන්නාවිට සිහියෙන් යුතු වෙන්න හුස්ම හෙලන විටත් සිහියෙන් යුතව සිටින්න.
බලන්න මේ ආනාපාන සතිය ගැන දේසනා කල සූත්‍රයක කොටසක් මුලින්ම කියන දේ පොඩි ළමයෙකුට උනත් තේරෙනවා නේද.....
දැන් එයා දන්නවා තමන් හුස්ම ගන්න කෙනෙක් කියලා. ඊළඟට තථාගතයාණන් වහන්සේ දේශනා කරනවා
දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානන්තී...
දීර්ඝ ආස්වාසයක් නම් තියෙන්නේ දීර්ඝ ආශ්වාසයක් කියලා සිතන්න. නැතිනම් තේරුම් ගන්න කියලා..
දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාතී...
දීර්ඝ ප්‍රශ්වාසයක් නම් දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා දැනගන්න
ඊළඟට කියනවා ඒ විදිහටම ආශ්වාස ප්‍රශ්වාස කෙටියි නම් ඒවා කෙටියි කියලා දැනගන්න කියලා.
බලන්න කොච්චර සරලද කියලා. ශාන්තව වාඩිවෙච්ච කෙනාය හුස්ම තේරෙන්න ගන්නවා. ඒ හුස්ම දිගනම් දිගයි නොටනම් කොටයි කියලා දැනගන්න.
අන්න එහෙම ඉන්න කෙනාගේ හුස්මත් එක්ක සිත සමාධිමත් වෙනවා. එතකොට එක හුස්මක අවස්ථා තුනක් තියෙන බව තේරෙන්න ගන්නවා. එහෙම තේරෙන කෙනාට කියනවා ...
සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛතී....
සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛතී....
ආශ්වාසයේ මුල මැද අග තේරුම් ගනිමින් ආශ්වාසය දෙස බලන්න.
ප්‍රශ්වාසයේ මුල මැද අග තේරුම් ගනිමින් ප්‍රශ්වාසය දෙස බලන්න.
කියලා බලන්නකො ඉතාම හෙමිහිට ගැඹුරක් කරා අරගෙන යන හැටි.
කෙනෙකුට මුලින්ම කිවුවානම් ආනාපානයේ මුල මැද අග බලන්න කියලා. තේරෙනවද එයාට නෑ නේද.
මෙන්න මේ වාගේ සෑම භාවනාවක්ම පටන් ගන්නේ දන්න තැනකින්. නමුත් නොදන්න ගැඹුරු තැනකට තමන්ටවත් නොතේරෙන්න අරගෙන යන ලස්සන.
අන්න එක නිසා තමයි වෙරලට උපමා කලේ මේ සාසනය. වෙරලේ ඉදන් හෙමිහිට ගැඹුර කරා සාගරය නැමිලා තියෙනවා වාගේ තමා මේ තථාගතයාණන් වහන්සේගේ අනුසාසනයත් හෙමිහිට තමා ගැඹුර කරා යන්නේ.....
2. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි ද, එසෙයින් ම පහාරාදයෙනි, මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයක් පණවන ලද්දේ ද, මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගිය ත් එය ඉක්මවා යන්නේ නෑ. පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති දෙවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වාසසය කරනවා.
බුද්ධ ශාවකයා කියල කිටන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුසාසනාව පිලිගන්නනා කෙනානේ. ඒ කෙනා බුදුරජාණන් වහන්සේ පනවපු සික්ෂා පදයක් කඩන්නේ නෑ. අපි දන්නවා අවම සික්ෂාව තමයි පංච සීලය. ඒක ගිහි අයගේ නිත්‍ය සීලය. ඒ සීලය රකින කෙනෙක් ඉන්නවානම් එයා තිසරණය සමාදන් වෙලා නම් ඉන්නේ අන්න එයා එපමනකින් බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා. අසිහියෙන් ඉන්න වෙලාවක සිල්පද සිල් පදයක් බිදුනොත් වහා සංවරයට පැමිනෙනවා. මේ සිල් රකින්නේ කාටවත් පේන්නවත් නෙවෙයි. කාටවත් බයෙන්වත් නෙවෙයි. අන්න ඒකයි වැදගත් කම තමන්ගේ පරලොව සුගතිය පිණිස මෙලොව උතුම් වූ චිත්ත සමාධිය පිණිස විදර්ශනාවට භූමියක් විදිහට....
මේ වගේම තමා ස්වාමීන් වහන්සේලාත් ඒ අයට තියන සීලය රකින්නේ.
මේ කාරනාව සාගරය වෙරල ඉක්මවන්නේ නෑ වාගේ ...
අන්න ඒක දැකලා ශ්‍රාවකයෝ සාසනයේ සිත් අලවා වාසය කරනවා.
3. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරයි ද, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගසයි ද, ගොඩබිමට නංවයි ද, එසෙයින් ම පහාරාදයෙනි, යම් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයි ද, පවිටු ධර්ම ඇත්තේ වෙයි ද, අපිරිසිදු කාය කර්මාදිය ඇත්තේ වෙයි ද, සැඟ වී කරන කටයුතු ඇත්තේ වෙයි ද, අශ්‍රමණයෙකු ව ශ්‍රමණයෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, අබ්‍රහ්මචාරියෙකු ව බ්‍රහ්මචාරියෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, ඇතුළත කුණු වූයේ, කෙලෙස් වැගිරෙන්නෙක් වූයේ, කසල හටගත්තේ වෙයි ද, සංඝයා ඔහු සමඟ වාසය නොකරයි. තවද සංඝයා වහා රැස් ව ඔහු ව සංඝයාගෙන් බැහැර කරයි. ඔහු භික්ෂු සංඝයා මැද සිටිනා නමුත් සංඝයාගෙන් බැහැර වූයේ ම වෙයි. සංඝයා ද ඔහුගෙන් බැහැර වූයේ ම වෙයි. පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
බලන්න අපි හිතනවා පවු කම් කර කර පන්සිල් වත් රකින්නේ නැතිව තිසරනය වත් රකින්නේ නැතිව සිටියත් අපිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. දැන් තේරෙනවා නේද එහෙම නෑ කියලා. බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුසාසනා පිලිගත්තොත් විතරයි. ඒවා ක්‍රියාත්මක කලොත් විතරයි. නැත්නම් නෑ. ඒක නිසා නිතිපංසිල් රකින්න. තිසරණය කැඩෙන විදිහට තථාගතයාණන් වහන්සේට අපහාස වන ආකාරයට හැසිරෙන්න එපා.
4. පහාරාදයෙනි, යම් සේ යම්කිසි මහා නදීහු වෙත් නම්, එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙනි. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අත්හරියි ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ වර්ණයෝ (කුල ගෝත්‍ර ) සතරකි. එනම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ඔවුහු තථාගත ධර්ම විනයෙහි අනගාරික ශාසනයෙහි ගිහි ගෙයින් නික්ම පැවිදි වෙති. පැරණි නම් ගොත් අත්හැර ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ය යන නාමයට යති. පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
බලන්න මිනිසුන් අතර කුලය නිසා බොහෝ බෙදීම් තියෙනවද. සමහර විට සමේ පැහැය නිසාත් බෙදිලා කතා කරන භාෂාව නිසා මේ වාගේ බෙදීම් නිසා නිරතුරුව සිටින්නේ ප්‍රීඩාවෙන්.
නමුත් තථාගත සාසනය එහෙම නෑ මොන කුලයකින් ආවත් මොන රටකින් ආවත් මොනයම් පුද්ගල කොටසකින් ආවත් මහන උනාට පස්සේ ශ්‍රමන සාක්‍යපුත්‍රයෝ කියලා තමයි හදුන්වන්නේ. ශාක්‍ය කුලයෙන් නික්මිලා ඇවිත් පැවිදි වු බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ කියන එකයි තේරුම. මෙක මේ සාසනය තුල තියෙන විශේෂ කාරනාවක්. මේ කාරනාව දැකල මේ ශ්‍රාවකයෝ සාසනය තුල සිත් අලවල වාසය කරනවා.
5. පහාරාදයෙනි, යම් සේ ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි ද, එසෙයින් ම පහාරාදයෙනි, බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යති. ඒ හේතුවෙන් නිර්වාණධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
6. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයි ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනය එක ම රසය වූ විමුක්ති රසයෙන් යුක්ත වෙයි. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනය එක ම රසය වූ විමුක්ති රසයෙන් යුක්ත වෙයි ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සයවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
විමුක්ති රසය කියන්නේ දිවට දැනෙන රසයක් එහෙම නෙවෙයි. සිතට දැනෙන එකක්. කෙලෙස් වලින් සිත මිදුනහම දැනෙන ස්භාවය. අපි හිතමු කෙනෙකුට කේන්තියක් ගිහින් තියෙනවා කියලා. අන්නන ඒ කෙනාට කොච්චර කායික වෙහෙසක් මානසික වෙහෙසක් තියෙනවාද. යම් මොහොතක ඒ කේන්තිය දුරුවෙලා ගියොත් අන්න ඒ වෙලාවේ සිතට යම් සහනයක් දැනෙනවාද අන්න ඒ සහනය ඒමොහොතේ කේන්තියෙන් මිදීම නිසා දැනෙන විමුක්ති රසයයි..
එසේ නම් සියලු කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදුන විට කෙනෙකුට ඇති විමුක්ති රසය ලොව ඇති උතුම්ම රසයක් බව දැන් ඔබට තේරෙනවා ඇති නේද.
මෙන්නමේ විමුක්ති රසය එකම එක රහතන් වහන්සේ කෙනෙකුටවත් වෙනසක් නැතිව අත් විදින්න පුළුවන්. අන්න ඒ කාරනාව මේ සාසනය තුල දකින්නට ලැබෙන විශේෂ වු කාරනාවක්. මේ කාරනාව දැකලයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සාසනයේ සිත් අලවලා වාසය කරන්නේ..
7. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහිලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ය., පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
තථාගත බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය තුල තියෙන වටිනාමදේවල් තමා මුහුදේ තියෙන මුතු මැණික් වලට උපමා කලේ. ඒ තමයි බොධි පාක්ෂික ධර්ම. බෝධිපාක්සික ධර්ම තිස් හතක් තියෙනවා. ඒවා තමයි පලමුවෙන් කියපු සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය
බොධි කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵල ධර්මයන් අවබෝධ කිරීමයි. මේ අවබෝධය පිණිස උපකාර කරන ධර්ම බැවින් මේවා බෝධිපාක්ෂික ධර්ම කියා හදුන්වනවා.
සතර සතිපට්ඨානය කියන්නේ උතුම් කාරනාවක්. වරෙක බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය කියන්නේ පියාගේ භූමිය කියලා. මේ පියාගේ භූමිය තුල සිටින කෙනාට මාරයාගේ තොන්ඩුවෙන් නිදහස් වන්න පුළුවන්.
ඒ ගැන ලස්සන කතාවක් තියෙනවා මට මතක විදිහට ලියන්නේ.
කැට කිරිල්ලියෝ ජීවත් වන්නේ කුඹුරුවල නගුලෙන් හෑවට පස්සෙ උඩට මතුවන පස් කැට උඩ.
දවසක් පුංචි කැටකිරිල්ලියක් සිටියා මෙයාගේ තාත්තා නිතරම අවවාද කරනවා මේ පස්කැට මතම ඉන්න කියලා. මෙතන තමයි ආරක්ෂාව තියෙන්නේ මේක තමයි අපට පරම්පරාවෙන් ලැබුන පියාගේ භූමිය කියලා. නමුත් මේ පුංචි කැටකිරිල්ලියට එලියට යන්න ආශාවක් ඇති උනා ඒක නිසා ඌ එලිමහනේ ඇවිදගන ගියා. මේ කැටකිරිල්ලිව දැකපු ගිජුලිහිනියෙක් වහාම ඇවිත් මේ කිරිල්ලිය ඩැහැගෙන අහසට නැගුනා. මේ වෙලාවේ අර කැට කිරිල්ලිය කියනවා.
තාත්තා කියපු දේ කලානම් මට මෙහෙම වෙන්නේ නෑනේ.... කියකියා කෑගහන්න ගත්තා.
මේ වෙලාවෙ අර ගිජුලිහිනියා අහනවා මොකද්ද නුබට තාත්තා කිවුවෙ...
පියාගේ භූමියේ වාසය කරන්න කියලා. මම ඒ කතාව අහලා පියාගේ පිමේ සිටියානම් අද නුබට අසුවෙන්නේ නෑ......
මේ වෙලාවේ අර ගිජුලිහිනියා කැටකිරිල්ලිව අතහැරලා කියනවා නුබට පුළුවන් ඕනෑම තැනක ඉන්න මමනුබව අල්ලගන්නවා. නුබට බෑ මගෙන් බෙරෙන්න..
මෙහෙම කිවුවහම අර කිරිල්ලිය පස් කැටයක් මතට ගිහිල්ලා කියනවා පුළුවන් නම් මාව අල්ලන්න කියලා. ගිජුලිහිනියා වේගයෙන් කිරිල්ලී ගවට ආවා ඇය පස් කැටය යටට රිංග ගත්තා. ගිජුලිහිනියා ආපු වේගය පාලනය කරගන්න බැරිව පස්ගොඩේ වැදිලා මරනයට පත් උනා.
අන්න ඒ වගේ තමයි අපිට තථාගතයාණන් වහන්සේ කියන්නේ සතර සතිපට්ඨානය තුල වාසය කරන්න කියලා. එ තමයි පරම්පරාවෙන් ලැබුන පියාගේ භූමිය. සතර සතිපට්ඨානයේ සිටින කෙනා රාග දේශ මොහයන් නිසා අකුසල දහමට යට වෙන්නේ නෑ. මාරයාට පරද්දන්න බෑ.
සතර සතිපට්ඨානය යනු....
කායානුපස්සනාව ....
වෙදනානුපස්සනාව ....
චිත්තානුපස්සනාව .....
ධම්මානුපස්සනාව ......
කාය ය යි කියනු ලබන රූප සමූහය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුඛ ශුභාදි වශයෙන් නොගෙන ආශ්වාස ප්‍රශ්වාසාදි කයක් සැටියට ම බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ප්‍රඥාව හා යුක්ත වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
නව වැදෑරුම් වේදනාව ආත්මාදි වශයෙන් වරදවා නොගෙන ඒ ඒ වේදනා සැටියට ම බලන්නා වූ ද වේදනාව අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානය හා පවත්නා වූ ද සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
රාග සහිත සිත රාග රහිත සිත ද්වෙශ සහිත සිත ද්වේශ රහිත සිත ආදී වශයෙන් වූ චිත්තය ආත්මාදි වශයෙන් වරදවා නො ගෙන චිත්තයක් සැටියට බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වේ.
නීවරණාදි ධර්මයන් ආත්මාදි වශයෙන් වරදවා නොගෙන නීවරණාදි ධර්ම වශයෙන් බලන්නා වූ ද, ඒවායේ ඉපදීම් බිඳීම් ආදිය බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වේ
ඊළඟට සතර සම්‍යක් පදාන වීර්යය ....
නිරතුරුව අපි වීර්යය කල යුත්තේ වටිනා දේවල් ලබා ගැනීම සඳහායි. නොවටිනා දේවල් නිරායාසයෙන් ලැබෙනවා. අන්න ඒවගේ තමයි ලාමක වු සිතුවිලි නිරන්තරයෙන් අපි අසල තිබුනත් උසස් කුසල් සිත් උපදවා ගන්නට නම් වීර්යයක් අත්‍යාවශ්‍යයි. අන්න ඒ වීර්යය තමා ධර්මයේ සතර සම්‍යක්පදාන වීර්යය කියල කියන්නේ.
තව දුරටත් කියනවා නම් “සමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ කිනම් කරුණක් නිසා වත් වීර්‍ය්‍යය ලිහිල් නො කරමි ය, භාවනාව නො නවත්වමි ය” යි පවත්වන චතුරංග සමන්වාගත වීර්‍ය්‍යය මෙහි අදහස් කරන සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය ය.
මේ වීර්යය ආකාර හතරකි.
01. නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීර්‍ය්‍ය ය.
02. උපන් අකුසල් ප්‍රහාණය පිණිස කරන වීර්‍ය්‍ය ය.
03. නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීයර්‍ය ය.
04. උපන් කුසල්වල දියුණුව සඳහා කරන වීර්‍ය්‍ය ය.
සෘද්ධිපාද සතර
චත්තාරො ඉඬිපාදා, ඡන්දිඬිපාදො, විරියිද්ධිපාදො චිත්තිඬිපාදො විමංසිඬිපාදො.
ඡන්දිද්ධිපාදය
විරියිද්ධිපාදය
චිත්තිද්ධිපාදය
වීමංසිද්ධිපාදය යි ඍද්ධිපාද ධර්ම හතරකි.
පලමුවෙන් අපි සෘද්ධි කියන්නේ මොනවාද කියා තේරුම් ගත යුතුය. අපි ඍද්ධි උනා කියල කියන්නේ කෙනෙක් ඉදල එකපාරට නැති උනහම නේ. ඒකත් එක සෘද්ධියක් තමයි. හැබැයි ඒක විතරක් නෙවෙයි සෘද්ධි කියන එකේ තේරුම හැකියාවන් කියන එක.
ගස් ගල් වලට ඇවිදින්න බැරි උනාට මිනිසුන්ට සතුන්ට ඇවිදින්න පුළුවන් එකත් සෘද්ධියක්. කුරුලුලන්ට පියාඹන්න පුළුවන්
මිනිසුන්ට කතාකරන්න පුළුවන් මේ සියල්ල සෘද්ධි තමයි. නමුත් අපි ඍද්ධි කියා කියන්නේ සාමාන්‍ය අයට කල වනාහැකි විශේෂ පුද්ගලයින් විසින් විතරක් කල හැකි දේවල්ය.
අන්න ඒ වගේ නිවන් අවබෝධයත් විශේෂ ඍද්ධියක්ය. මෙන්න මේ ඍද්ධිය උපදවා ගැනීමට පාදක වෙන කාරනා හතරක් තියෙනවා. අන්න ඒ හතර තමා ඍද්ධිපාද කියලා කියන්නේ....
ඡන්දය කියන්නේ කැමැත්තටනේ. යම් කිසි කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවානම් නිවන අවබෝධ කර ගන්නවාමයි කියලා අන්න ඒ නිවන අවබෝධ වීම දක්වාම වීර්යය යෙන් යුත්තව පවත්වාගෙන යන කැමැත්තට තමයි කියන්නේ ඡන්දඍද්ධිපාදය කියලා.
විරිය කියලා කියන්නේ උත්සාහය ටනේ. අන්න ඒ වීර්යය නිවන පිනිස නිවන් නොලබා අත් නොහරින ආකාරයට පවතින විට ඒකට කියනවා විරියඍද්ධිපාදය කියලා.
චිත්ත කියන්නේ සිතටනේ. නිවන් දකින අදහසින් උපදින සිත් පරම්පරාව නිවන් දක්නා තුරාම සතර මහා වීර්යයයෙන් යුතුව පවත්වාගෙන යනවානම් අන්න ඒ සිතට කියනවා චිත්තඍද්ධිපාද කියලා.
විමංසා කියන්නේ විමසීමටනේ. නිවන දක්වාම ඒ සඳහා කරන වීර්යයයෙන් යුත්ත ණුවනින් විමසීමට කියනවා විමංසාඍද්ධිපාද කියලා. මේ කියන ලද ඍද්ධිපාද හතරම සමාධිය ඇසුරු කරගෙන පවතින්නකි.
ඉන්ද්‍රිය ධර්ම.....
මහණෙනි, සද්ධින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. විරියින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සතින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සමාධින්ද්‍රිය ය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. පඤ්ඤින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. මහණෙනි, යම් තිරිසන් සත්ත්ව කෙනෙක් වෙද්ද, ඔවුන් අතුරෙන් සිංහයා වීර්‍ය්‍යයෙන් ද වේගයෙන් ද සූරභාවයෙන් ද අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් යම් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත් ද, ඔවුන් අතුරෙන් පඤ්ඤින්ද්‍රිය ය අග්‍රය යි කියනු ලැබේ.
අපගේ පාලකයා තමයි ජනාධිපති කියන්නේ. මෙන්න මෙ අධිපති කියන වචනයටම තවත් වචනයක් තමා ඉන්ද්‍ර කියල කියන්නේ. අන්න ඒ නිසා ජනයාට අධිපති ජනේන්ද්‍ර. දෙවියන්ට අධිපති දේවේන්ද්‍ර. ආදී වශයෙන් හසුන්වනු ලබනවා. මේ නාම රූප ධර්මයන් අතර නායකත්වය දරන කාරනා පහක් තියෙනවා. අන්න ඒ කාරනා පහ තමයි කලින් කියාපු ඉන්ද්‍රිය ධර්ම පහ.
සද්ධා ඉන්ද්‍රිය
විරිය ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය
සමාධි ඉන්ද්‍රිය
පඥා ඉන්ද්‍රිය
යම් කිසි කෙනෙකුගේ නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන අවස්ථාවලදී මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි පවතින්නේ.
අපි මෙම දේශනාවේදී මේ ඉන්ද්‍රිය ධර්ම පහ ටිකක් වැඩිපුර විස්තර කර ගනිමු.
සද්ධා ඉන්ද්‍රිය
සද්ධාව කියලා කියන්නේ පැහැදීම.
සෑම සාසනයක් ම සද්ධාව මත තමයි පවතින්නේ. සද්ධාව තමයි මූලික වෙලා තියෙන්නෙ නමුත් ඒ ශාසනවල සද්ධාවෙන් එහාට ගමනක් නැහැ
නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සද්ධාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවබෝධය කරා යන්නට උගන්නනවා ඒකයි තියෙන විශේෂත්වය.
ඒක නිසා අපි මෙතෙන්දි සද්ධාව ගැන මෙසේ තේරුම් ගනිමු
තථාගත බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ගුණ දැනගෙන පැහැදීම
ධර්මයේ ගුණ දැනගෙන පැහැදීම
සංඝයාගේ ගුණ දැනගෙන පැහැදීම
සමහර කෙනෙක්ගේ සද්ධාව හට ගන්නේ කිසිම හේතුවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුන්වන්නෙත් නැහැ ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් මෙහෙම හටගන්න සද්ධාව ට පැවැත්මක් නෑ. අන්න ඒ වගේ සද්ධාව ට කියනවා අමූලිකා සද්ධාව කියලා.
සද්ධාව හටගන්නට මූලිකම හේතුව වෙන්නෙ ධර්ම ශ්‍රවණය. ඒ ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම.
කාටහරි කෙනෙකුට දුක යන්තමින් හෝ දැනුනොත්, අන්න ඒ කෙනා තමයි මේ දුකින් අත මිදෙන්න කියලා හිතාගෙන ධර්මය සොයන්න පටන් ගන්නේ. අන්න ඒ කෙනාටම තමයි ධර්මය අසන්න ලැබෙන්නේ.එතනින් තමයි සද්ධාව ආරම්භ වෙන්නේ.
මුලින් ඇති වෙන සද්ධාව චූටි දෙයින් පවා වෙනස් වෙනවා. බුද්ධානුස්සතිය වඩන්න වඩන්න ඒ සද්ධාව දියුණු වෙනවා. ධර්මය නිතර නිතර අසා ඒවා නුවනින් මෙනෙහි කරන විටත් සද්ධාව දියුණු වෙනවා.
මේ සද්ධාව ටිකින් ටික දියුණු වෙලා අස්සද්ධාව දුරු කරන්න මූලික වෙන අවස්ථාව තමයි අපි කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා
විරිය ඉන්ද්‍රිය ... .
පළමුවෙන්ම අපි වීර්යය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනි වීර්යය කියලා කියන්නේ කිසියම් ක්‍රියාවක් නොනවත්වාම අවසානය තෙක් කැරගෙන යෑමට ඇති හැකියාවයි. කැමැත්තක් තිබුනට මදි අපිට වැඩක් නිමා කිරීමට වීර්යය අත්‍යවශ්‍ය වෙනවා නැත්තං අපි ඒ කටයුත්ත නිතරම මග නවත්තල දානව
සමහර කෙනෙක් ඉතාම ආශාවෙන් භාවනා කරන්න බන අහන්න පටන් ගන්නවා. ඔහුට එම කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑමට බාධාවක් ඇති වෙනවා නම් ඒ අවස්ථා අටක් මුල් කරගෙන ඇති කරගන්නා කුසීත භාවයයි
01. අද මට කරන්න ලොකු වැඩක් තියෙනවා කියලා තමන්ගේ කුසල ක්‍රියාව අත්හරිනවා
02. ලොකු වැඩක් තිබිලා ඉවර උනාට පස්සේ අද මං ගොඩක් මහන්සි වුනා කියලා බණ භාවනා කිරීම කිරීම පැත්තකට දානවා .
03. ගමනක් යන්න තියෙනවා කියලා ඒක නිසා බැහැ කියලා භාවනා කිරීම අතහැරලා දානවා
04. ගමනක් ගිහිල්ලා ආවට පස්සේ ගමන් මහන්සිය වැඩියි කියලා භාවනා කරන එක අතහැරලා දානවා
05. තමන් කැමති විදිහට ආහාරපාන නැති උනාම අද නම් හරියට කන්නත් බැරි වුණා කියලා භාවනාව අතහැරලා දානවා
06. හොඳට රසට කාලා බීලා ඉන්න වෙලාවට දැන්නම් බඩ පිරිලා වැඩියි කියලා භාවනා කිරීම පැත්තකට දානවා
07. පොඩි ලෙඩක් හට ගත්තහම දැන් මට මේ ලෙඩේ නිසා භාවනා කරන්න බෑ කියලා කියලා අතහැරලා දානවා
08. ලෙඩක් හැදිල සනීප වුණහම මම බොහෝම අමාරුවෙන් හිටියේ දැන් ටිකක් විවේක ගන්න ඕනේ කියලා භාවනාව අතරල ගානවා
මෙන්න මේකට තමයි ධර්මයේ කියන්නේ කුසීත වස්තු අට කියලා. ඒ කුසීත වස්තු අටෙන් යුක්ත වූ තැනැත්තෙක් වෙයි නම් අන්න ඒ කෙනාට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඉතාම අසීරුයි.
මේ කුසීත වස්තු අටෙන් ටික මුදවා ගත්තු තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා වීර්යයෙන් යායුතු ගමන ආරම්භ කරන්න.
අන්න එවිට තමා තුල හටගන්න විදියට පුළුවන්කම ලැබෙනවා කුසීත භාවය දුරු කරන්නට . කුසීත භාවය දුරු කිරිමෙහිලා මේ වීර්යය අධිපති භාවය දරන නිසා මේ වීර්යය හඳුන්වනව විරිය ඉන්ද්‍රිය කියලා
සතීන්ද්‍රිය ......
සතිය කියලා කියන්න සිහියට නේ. අපි දන්නවා සිහියෙන් කුසල් කරන්නත් ඕනි වෙනවා ඒවගේම අකුසල් කරන්න මිනිස් සීය ඕනි වෙනවා.
අපි හිතමු ස්නයිපර් වරයෙක් කියලා.අන්න එයාට සිද්ධ වෙනවා බොහෝ වේලාවක් තමන්ගේ ඉලක්කය එනකං එනකන් බලාගෙන ඉන්න. ඒ වෙනකන් එයත් ඉන්නේ සිහියකින් තමයි නමුත් අපි මේ කතා කරන්නේ අන්න ඒ අකුසලයට හේතුවෙන සිහිය නෙවෙයි. කුසලය තුල පවතින සිහියයි.
අපේ සිට සිත නිතරම නිතර ම පවතින්නේ පංච කාමයන් අරමුණු කරගෙනයි එහෙම නැත්නම් ඒ අකුසලයට බර වෙලයි මෙන්න මේ පංචකාම පංච කාම ගුණයන්ගෙන් හිත මුදවලා. අකුසලයෙන් හිතමුද වෙලා කුසල් අරමුණක සිට සිත තියන්න
උපකාර වෙන්නේ මේ සතිය කියන චෛතසිකයයි.
දන් පැන් පූජා කිරීම ආදි නොයෙක් කුසල ක්‍රියා වල දී මේ සතිය යෙදෙනවා
පංච කාමයන්ගෙන් මුදවන දාන ආදී කුසල කර්මයන් කර්මයන් තුළින් ශක්තිමත් කරගත්තු මේ සතිය යන්න භාවනාවක් තුළින් වර්ධනය කර ගැනීමේ දී ඒ හා යෙදෙන සතියට කියනවා සති ඉන්ද්‍රිය කියලා. මේ සතිය ඉන්ද්‍රිය තත්වයට පත් වුණාට පසු තමාගේ ඉදිරිපත් වීම තුළින් ම අසතිය දුරු කරල දාන්න සති ඉන්ද්‍රිය ඉන්ද්‍රියට පුළුවන්කම තියෙනවා .මේ සම්මා සතිය බවට පත් වෙච්චි සති ඉන්ද්‍රිය අපිට දකින්නට ලැබෙන්නේ සතර සතිපට්ඨානය තුළ යි.
සමාධින්ද්‍රිය.......
ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට මිනිස් මූණක් ඇදීමේදී ආකාර ගණනාවකට අදින්න පුළුවන්. නමුත ඒ ආකාර සියල්ල එක විට අඳින්න ගියොත් ඒ චිත්‍රය තේරුම් ගන්න බැරිවෙනවා.
අන්න ඒ වාගේ මොහොතින් මොහොත වෙන වෙන අරමුණු ගන්න සිතින් එක දෙයක් හරියටම අඳුනගන්න බැරිවෙනවා.
නමුත් එකම අරමුණුක් අරමුණු කරන සිත් පරම්පරාවක් නිසා ඒ අරමුණ පැහැදිලිව හදුනා ගන්න පුළුවන් වෙනවා. මේ ස්භාවයට කියනවා සමාධිය කියලා.
අන්න ඒ සමාධි කොටස් තුනකට පෙන්වා දෙන්න පුළුවන්. ඒ තමා
පරිකර්ම සමාධිය
නැවත නැවත සිහිකිරීම තුලින් ඇතිවන කුඩා සමාධිය.
උපචාර සමාධිය
ඒ පරිකර්මය නිසා සිතේ හට ගන්නා නිමිත්තක් හටගන්නවා. ඒ නිමිත්ත පවතින්නේ භාවනා අරමුණ නිසාමයි මෙි නිමිත්ත ඇසට පෙනෙන එකක් නොවෙයි. සිතට හසුවෙන එකක්. පරිකර්ම සමාධියට වඩාබලවත්. නමුත් ලදරුවෙක් නැගිටිනනා වාගේ තමයි එය වහා බිදෙනවා. ඉතා ඕනෑකමින් ආරක්ෂා කල යුතු වෙනවා.
අර්පනා සමාධිය
පලමුවන ධ්‍යානය දෙවන ධ්‍යානය ආදී ධ්‍යාන හතර අර්පනා කියලා හදුන්වනවා. අරූපාවචර ධ්‍යාන හතරද මීටම අයිතිවෙනවා.
මෙන්න මේ සමාධි, අසමාහිත බව දුරුකරමින් සමාධිය ඇතිකර ගන්නට යම් වෙලාවක සිතේ අධිපති බව දරනවා. අන්න ඒ අවස්ථාව හදුන්වනවා
සමාධිඉන්ඳ්‍රිය කියලා
පඤ්ඤීන්ද්‍රිය......
යමක් පිළිබඳව දැන ගැනීමේ හැකියාව නුවණ ප්‍රඥාව කියලා අපි හඳුන්වනවා .සාමාන්‍යයෙන් ප්‍රඥාව කොටස් තුනකට බෙදල අපිට තේරුම් ගන්න පුළුවන්
සුතමය ප්‍රඥාව...
යමක් පිළිබඳව අසා දැන ගැනීමෙන් ඇතිකරගන්නා ප්‍රඥාව සුතමය ප්‍රඥාව හෙවත් අසා දැන ගැනීමේ නුවණ සුතමය පඤ්ඤා කියලා හදුන්වන්න පුළුවන්.
චින්තාමය පඥාව....
අසා දැනගත් දෙයක් නැවත නැවත සිතින් මෙනෙහි කිරීම තුළින් ලබා ගන්නා නුවණ චින්තාමය ප්‍රඤ්ඤා කියා හඳුන්වන්න පුළුවන්.
හාවනාමය පඥාව....
සිතින් තේරුම් ගත් දෙයක් සමථ විදසුන් භාවනා වශයෙන් නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් ලබා ගන්නා ඥානය භාවනාමය ප්‍රඤ්ඤා
කියා හඳුන්වනවා.
බොහෝ දෙනෙක් නිතර කතා කරන්නේ මේ සුතමය සහ චින්තාමය පඥාව පිළිබඳවයි.
පාසල් අධ්‍යාපනය තුලත් අපි ඇති කරගන්නේ මෙවන් ඥානයක්ය. නමුත් භාවනාව තුල ඇතිකරගන්නා ඥාණය තුල කෙලෙස් ධර්ම යටපත් කිරීමට ද මුල් සහිතවම උදුරා දැමීමට ද පුළුවන් කම ලැබෙනවා. අන්න ඒ නිසා චතුරාර්ය සත්‍ය නොදැනීම කියන මොහය දුරුකිරීමට මුලිකත්වය ගන්නා අධිපති බව උසුලන්නා වූ පඥාව පඤ්ඤීන්ද්‍රිය කියා හදුන්වනවා.
දැන් ඔබට තේරෙනවා ඇති ඇයි මේවාට ඉන්ද්‍රිය ධර්ම කියා කියන්නේ කියල.
අස්සද්ධාව දුරු කිරීමට සද්ධාව අධිපති බව දරන නිසා ඒ අවස්ථාවේ පවතින සද්ධාව සද්ධා ඉන්ද්‍රිය කියා හදුන්වනවා.
කුසීත බව දුරු කිරීමට මුලිකත්වය ගන්නා වීර්යය විරිය ඉන්ද්‍රිය කියලා හදුන්වනවා.
අසතිය දුරු කිරීමට මුලිකත්වය ගන්නා සතිය සති ඉන්ද්‍රිය කියලා හදුන්වනවා
අසමාහිත බව දුරුකිරීමට මුලිකත්වය ගන්නා සමාධිය සමාධි ඉන්ද්‍රිය කියා හදුන්වනවා.
දුෂ්ප්‍රාඥ බව දුරු කිරීමට මුලිකත්වය ගන්නා පඥාව පඥා ඉන්ද්‍රිය කියා හදුන්වනවා.
මෙන්න මේ විදිහට භාවනා කරන කෙනෙක් තුල පංච නීවරණ ධර්ම යටපත් වෙලා නම් තියෙන්නේ, එයා තුල මේ ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා.
පංච බල.....
සද්ධා බලය
වීර්යය බලය
සති බලය
සමාධි බලය
පඥා බලය
අපි ඉන්ද්‍රිය ධර්ම වශයෙන් හදුන්වා දුන් ධර්ම පහම මේ මොහොතේ බල ධර්ම ලෙස පෙනී සිටිනවා.
ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම අතර වෙනස......
ඉන්ද්‍රිය අවස්ථාවේ දී මේ ධර්ම පහ ඉදිරිපත් උනේ අධිපති බව දරමින්. දැන් ඉදිරිපත් පත් වන්නේ අස්සද්ධා ආදී අකුසල ධර්ම පහ දුරු කිරීම සදහා තම බලය දක්වමින්ය.
අපි මේ දෙකේ වෙනස තව දුරටත් තේරුම් ගැණීම වැදගත් වෙනවා. සමහර රජවරු සිටිනවා ඒ අය තමන්ගේ රාජ්‍ය ඉතා ධාර්මිකව කරගෙන ගියා. මිනිසුන් රජතුමා කියන දේ පිළිගත්තා. ඔවුන්ට තම හමුදා බලය ආදී බලය පවත්වන්න ඕන උනේ නෑ. නමුත් සමහර කාල වල සතුරන් වැඩි උනා අන්න ඒ කාලයේදී රජ තුමා කියලා විශේෂත්වයක් තිබුනේ නෑ. බලය වැඩි උනේ කොයි පැත්තේද ඒ පැත්ත ජය ගත්තා.
අන්න ඒ වගේ භාවනා කරන කාල වලදීත් සද්ධාව ඉදිරිපත් වීම ම ප්‍රමාණවත් උනා අස්සද්ධාව දුරු කරන්න. නමුත් සමහර විට ඒත් මදි අස්සද්ධාව දුරු වන්නේ නෑ අන්න ඒ වෙලාවට සද්ධාව බලවත් වෙලා නොතිබුනොත් භාවනා කටයුත්ත එතනින් නිමා වෙනවා. නමුත් සද්දාව බලවත් නම් අස්සද්ධාව දුරු කරගන්න පුළුවන්. මෙවැනි තැනකදී අස්සද්ධාව දුරු කිරීමට හේතු උනේ සද්ධාවෙ තියෙන ඉන්ද්‍රිය ස්භාවය නෙවෙයි බල ස්භාවයයයි. මෙන්න මේකයි ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම වෙන වෙනම දැක්වීමට හේතු උනේ.
බොජ්ඣංග ධර්ම හත.....
මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත් දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහු ය. කවර සත් දෙනෙක් ද යත්? සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි- සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුය.
සසර සැරිසරන කාම ලොක වල වසන සත්වයින්ගේ සිත නිතරම පවතින්නේ අකුසල ධර්මයන්ට නැඹුරු වෙලා. අපි මෙහෙම හිතමු. අපි කැමතියි ටෙලි නාට්‍යයක් තියෙනවා නම් එකම වෙලාවට අපි ඒක බලනවාමයි කලාතුරකින් හරි කොටසක් මග හැරුනොත් මග හැරුනොත් ඊලග කොටස බලන්නට ඉස්සෙල්ලා අපි කාගෙන් හරි අහල වෙච්ච දේ දැනගන්නවා. බලන්න කොච්චර වීරියකින් මුල ඉදලා අවසානයේ දක්වා අපි ඒ කටයුත්තේ යෙදෙනවාද කියලා.
නමුත් අපිට දානයක් දෙන්න ගියත් සීලයක් රකින්න ගියත් විශේෂයෙන් භාවනා කරන්න ගියාමත් මේ තරම් විදියක් තියෙනවද කියලා. පටන් ගත්තු දේ අවසානය දක්වාම දක්වාම එකම විදිහට විදියට කරගෙන යන්න පුළුවන් ද කියලා.
මෙන්න මේ ස්වභාව අපි ඉතින් තියෙන නිසා තමයි අපිට නිවන අවබෝධ කරගන්න බැරිවෙලා තියෙන්නේ .
භාවනා කිරීමේ දී ඇති වන හිතේ හැකිලෙන ස්වභාවය. සිත තැන්පත් නොවන ස්වභාවය ලෝභාදී කෙලෙස් ධර්මයන් සිත ආක්‍රමණය කරගෙන පැවතීම නොයෙක් දෘෂ්ටීන්ට බැහැගෙන සිටීම, මෙවැනි අකුසල ධර්මයන් නිසා තමයි අපිට නිවන් මඟ වැහිල තියෙන්නෙ
ආලෝකයක් නොලැබී ගියොත් අන්ධකාර දුරු නො වන්නේ යම් සේද අන්න ඒ වගේම මේ අකුසල ධර්මයන් දුරු කරන්නට තරම් සමර්ථ කුසල ධර්මයන් ඇති නොවුණොත් කවමදාකවත් මෙ අකුසලයන්ගෙන් සිත මුදවා ගන්නට බැරි වෙනවා
අන්න ඒ අකුසල ධර්මයන් දුරු කරන්න සමර්ථ, චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස පවතින ධර්මය හතට තමයි කියන්නේ බොජ්ඣංග ධර්ම කියලා
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය .......
මහණෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කවරේද? ඔවුහු කවරහු ද?
සම්මාදිට්ඨියය,
සම්මාසංකප්පයය,
සම්මාවාචාවය,
සම්මාකම්මන්තයය,
සම්මාආජීවයය,
සම්මාවායාමයය,
සම්මාසතියය,
සම්මාසමාධියය යන මොහුය.”
මෙහි ආර්ය තියා හඳුන්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ය. සෝවාන් සකදාගාමී අනාගාමි අනාගාමී අරිහත් යන උතුමන් වහන්සේලා ය ඒ උත්තරීතර ආර්ය භාවයට පැමිණීම සඳහා ඇති එකම මාර්ගය බැවින් ද එය කාරණා අටකින් යුක්ත බැවින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා හඳුන්වනවා.
8. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි. එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, සකදාගාමී වූ කෙනා ය, සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, අනාගාමී වූ කෙනා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, සකදාගාමී වූ කෙනා ය, සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, අනාගාමී වූ කෙනා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය වශයෙන් මහා සත්වයෝ සිටිත් ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.
පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි ඇති ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් අට මේවා ය. ඒවා දැක දැක ය භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
පහාරාද සූත්‍රය නිමා විය
©2022 by nipunadhamma
sinhala dharma desana | pirith | bhawana
1 Comments
.
ReplyDelete