Dharmachakra

Featured post

බුදුන් සරණ යමු

බුදුන් සරණ යමු

බුදුන් සරණ යමු" යන මෙම ශාස්ත්‍රීය ලිපිය, තිසරණය පිළිබඳව නිවැරදිව දැන ගැනීමට කැමති සත්පුරුෂයන් හට මහෝපකාරී වේවා යන්න අපගේ උතුම් පැතුමයි. ​බුද්ධ, ධම්ම, සංඝ යනු තිසරණයයි; එසේත් නැතහොත් ත්‍රිවිධ රත්නයයි. අපගේ ජීවිතවල ඉහළින්ම තැබිය යුත්තේ මේ උතුම් තිසරණයයි. තිසරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගත් කල්හි, අවබෝධයෙන්ම තිසරණය තුළ පිහිටා සිටීමට ඕනෑම සත්පුරුෂයෙකුට හැකියාව ලැබෙයි. ​තිසරණ සරණ යාම ​බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ​දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ​තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ​තිසරණය දේශනා කරන ලද්දේ කවුරුන් විසින්ද? ​මේ උතුම් තිසරණය දේශනා කරන ලද්දේ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින්මය. ​තිසරණය දේශනා කරන ලද්දේ කොහේදීද? ​තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන මිගදායේදී මේ උතුම් තිසරණය මුලින්ම ලෝකයාට දේශනා කළ සේක. ​තිසරණය දේශනා කරන ලද්දේ කවදාද? ​ආයුෂ්මත් යස තෙරුන් වහන්සේ සමඟින් උන්වහන්සේගේ සහායක භික්ෂූන් වහන්සේලා රහත් ඵලය අවබෝධ කරගත්හ. යස තෙරුන් වහන්සේ, විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන මහ තෙරුන් වහන්සේලා ද, උන්වහන්සේලාගේ මිත්‍රයන් පනස් දෙනෙකු ද පැවිදිව බුදු සසුනෙහි රහත් වූ බව අප කවුරුත් අසා තිබේ. ​පස්වග මහණුන් වන කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන තෙරුන් වහන්සේලා ද එකතු වූ කල්හි බුදු සසුනේ රහතන් වහන්සේලා සැටනමක් (60) බිහි වූහ. බුදුරජාණන් වහන්සේ එම රහතන් වහන්සේලා සැටනම අමතා, "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය" යනුවෙන් බොහෝ ජනතාවගේ හිත සුව පිණිස ලෝකයෙහි ධර්ම දේශනා කිරීමට වදාරමින් ධර්ම දූත සේවයේ යෙදවූ සේක. ​එම අවස්ථාවේ දී උන්වහන්සේලා ධර්ම දේශනා කරමින් ඒ ඒ පළාත්වල සහ ඒ ඒ මාවත්වල තනි තනිව වැඩම කළහ. එම උතුම් දහම ඇසූ බොහෝ සැදැහැතියෝ සම්මා සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වීමට කැමති බව සඳහන් කළහ. මුල් අවස්ථාවේදී එම රහතන් වහන්සේලා පැවිදි වන්නට කැමති පිරිස් බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන විත් පැවිදි කරවූහ. ​එවිට බුදුරජාණන් වහන්සේ, "මහණෙනි, සෑම තැනකදීම හමුවන අය ඒ ඒ ප්‍රදේශවලදීම පැවිදි කරවනු මැනව"යි නියම කළ සේක. භික්ෂූන් වහන්සේලා විසින් එය කරන්නේ කෙසේදැයි විමසූ විට, පැවිදි වීමට කැමති තැනැත්තාගේ කෙස් රැවුල් බහා දමා, කසට වස්ත්‍ර (සිවුරු) පොරවා, උක්කුටිකයෙන් වාඩි කරවා, තිසරණය සමාදන් කරවා පැවිදි කළ යුතු බව දේශනා කළ සේක. මෙම සුවිශේෂී ඓතිහාසික අවස්ථාවේදී තිසරණය දේශනා කළ බව දත යුතුය.

Post a Comment

0 Comments